තාත්තාට සිගරැට් ගේන්න ගිහින් මං කුඩුකාරයෙක් වුණා

2015-07-05 11:24:00       579
feature-top
තමන් කරන වෘත්තිය කුමක් වුවත් එය හුස්ම ගන්නවුන්ට ජීවත්වෙන්න මගපෙන්වනවා නම් බොහොම වැදගත්. අපි තාරුණ්‍ය මතින් මුදන මිතුරු මිතුරෝ සොයා ගම්පහ නිසංසල ආයතනයට ගොඩ වැදුණේ අන්න ඒ වැදගත්කමට වැදගත් අවස්ථාවක් ලබා දෙන්න.

නොවැදගත් ජීවන රටාවකට හුරුවූවන් තුළින් අපේ ජීවිතයට ලබා ගත හැකි වැදගත්කම මොකක්ද? ඉන්න ඔබේ හිතට නැගෙන ප‍්‍රශ්නයට පිළිතුර අපි දෙන්නම්. මත්උවදුර වසංගතයක් නිවෙසක කැණිමඩලට ගිනි තියන වසංගතයක්.

දුගී මගී යාචකයාගේ ඉඳලා ධනපති පංතිය දක්වා පැතිර ගිය වසංගතයක්.
මේ හැම ජීවිතයකම බිම වැටුණු මගඇරුණු ඒ නිසාම වැරදුණු මොකක් හරි තැනක් තියෙනවා.

එදා පාසල් නිලඇඳුම ඇඳලා තාත්තාට බාප්පට තේ වතුර ගානට උදේට නැතුවම බැරි සිගරට්ටුව ගේන්න කඬේට දුවපු පිම්ම මේ තරම් මගවරද්දාවි කියලා පුංචි සදීපට නොහිතෙන්නට ඇත.

දුරදිග නොබලා බරක්පතළක් නැතුව ගෙවන ජීවිතයේ දී තමාගේ දරුවා ලව්වා සිගරට් ගේන්න ගත්තු මේ තාත්තා නොකිව්වට ජීවිතේ වරද්ද ගත්තු පුතා ගැන හිතලා වධ විඳින්න ඇති.

තාරුණ්‍ය මතින් මුදන ගම්පහ නිසංසල ආයතනෙදී අපට මුණ ගැහුණු සදීප අපට කිව්වේ මෙහෙම කතාවක්.
ඔහුගේ දෑසින් මත් අඳුර පහවෙලා වක ගැසුණු මුහුණ පිරියම් වෙලා අමුතු ජවයක් නවමු ශක්තියක් සමග හෙට දවසට පිය නගන්නට ඔහු සූදානම්. අපි අහමු සදීපගේ කතාව.

මගේ අක්කයි, මමයි, අයියයි, අම්මයි, තාත්තයි තමයි පවුලේ හිටියේ.
මගේ ගම ගාල්ලේ. ගාලූ කොටු පවුරට මම කවදත් ආස කළා. පාළුව කාන්සිය දැනුණ හුඟ වෙලාවට මම ඒ කොටු පවුර ළඟට ආවා.
වෙන කාටවත්ම නැති තරමේ පාළුවක් දුකක් මගේ ජීවිතේ තිබුණා. පවුලේ බඩපිස්සා විදිහට අම්මාගේ ආදරේ මට මොන තරම් වුවමනාද?. ඒත් ඒක කවුද තේරුම් ගන්නේ. කව්රුත්ම නෑ. කාටවත්ම මාව දැනුණේ නෑ.

අම්මා මාව දාල යනකොට මගේ වයස අවුරුදු අටක් විතර ඇති. අම්මාට වෙන සම්බන්ධයක් තිබුණා. එදා අම්මා ගෙදරින් ගියේ ඇයි? අපේ ගෙදර හැමවෙලාවෙම රණ්ඩු ඇති වුණේ ඇයි? කියලා තේරුම් ගන්න බැරි තරම් පුංචි වයසක මම හිටියත් අද දන්නවා එදා මොනවා වෙන්න ඇතිද කියලා අද තේරෙනවා.

මගේ සතුට සැනසීම කාටවත්මට වැඩක් නොවෙනකොට අම්මා එයා ආදරේ කළ කෙනා එක්ක නිදහස සොයාගෙන ගියා.

ආදරේ හොයාගෙන ගිය අම්මාගේ අනියම් සම්බන්දේ තාත්තා දැන ගන්නකොට අම්මගේ වරදට සමාව දීලා අම්මාව බාරගන්න තාත්තාට වුවමනාවක් තිබුණේ නෑ. දෙන්නා දෙපැත්තට යනකොට රිදුනේ අපට.

අයියට අක්කට මේ දෙපැත්තටවීම කොහොම දැනුණද මම දන්නේ නෑ. ඒත් මට අම්මාව ගොඩක්  ඕනෑ වුණා.

ඒත් මම වැටිලා අඬනකොට මාව නැගිට්ටවන්න හිටියෙත් මට මම විතරයි.

අම්මා අපිව දාලා ගියාට පස්සෙ තාත්තා අපිට අම්මා කෙනෙක් වුණා. එයා රස්සාව කළේ වරායේ. උදේට මාව ඉස්කෝලේ යන්න ලක ලැහැස්ති කරන්න කව්රුත් හිටියේ නෑ. මොන දේත් පුලූ පුළුවන් විදිහට මම පුරුදු වුණා.

සමහර වෙලාවට තාත්තා කරලා දුන්නා. පුංචිකාලේ මට පැවරුණ රාජකාරියක් තිබුණා. ඒක මම එදා කළේ ලොකු කැමැත්තකින්. උදේම නැගිටලා යුනිෆෝම් එක ඇඳගත්ත මම කෙලින්ම දුවන්නේ ගේ ළග කඬේට. කඬේට මම දුවන්නේ සිගරට් ගන්න. තාත්තටයි බාප්පටයි සිගරට් ගන්න. පුංචි මට ඒ සිගරට් දෙක ගේන වැඬේ දැනුණේ මහා ලොකු වැඩක් විදිහට.

ඒත් දවසක් මම වීරයෙක් කරපු ඒ සිගරට් ගේන වැඬේ නිසාම මම මෝඩයෙක් නැහැදිච්ච ළමයෙක් කියලා ලේබල් වැදුණ දවසකුත් තිබුණා.

එතකොට මම හිතන්නේ මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. උදේ තාත්තට බාප්පට ගෙනාව සිගරට් දෙක එහෙම්ම සාක්කුවේ තිබුණා. මම ඉස්කෝලේ ගිහින් තිබුණේ අමතක වෙලා සිගරට් අරගෙන.

කිසිම දේක වැරැුද්ද පෙන්වන්න කව්රුවත් මට හිටියේ නෑ. ඒ සිගරට් දෙක මම යාළුවන්ට දික් කළේ ලොක්කෙක් වගේ.

මගේ යාළුවෝ අතරේ සිගරට් බොන අය හිටියා. මම ඒ අයටයි සිගරට් දුන්නේ. ඒත් මම සිගරට් ඉස්කෝලෙට ගෙනාව කතාව විදුහල්පතිට පවා දැනගන්න ලැබුණා.

අන්තිමේදී මට සිද්ධ වුණේ විදුහල්පතිගේ කාමරේදී දඬුවම් විඳින්න. තාත්තාවත් ප‍්‍රින්සිපල් සර් ඉස්කෝලෙට ගෙන්වලා තිබුණා. වැරැුද්ද පැහැදිලි කරලා ඒක ආයෙ කරන්න එපා කියලත් අවවාද ලැබුණා. නමුත් ? එළිවෙනකොට ආයෙත් පුරුදු දිනචර්යාව ඒ විදිහටම සිදුවුණා.

ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙලා මම සිගරට් ගෙනාව. තාත්තා එපා කිව්වෙත් නෑ. මම නැවැත්තුවෙත් නෑ. දවසක් එහෙම ගේන සිගරට් එකක් මම බිව්වා. ඉන් පස්සේ ලැබෙන හැම සතයකින්ම සිගරට්. යුනිෆෝම් සාක්කුව පිරෙව්වා.

මම පට්ට කොල්ලෙක් කියලා අනුන්ට දැනෙන විදිහට ජීවත් වෙන්න මට  ඕනවුණා. ගාලූ කොටුවේ ගල් බැම්ම උඩ වාඩිවෙලා සිගරට් දුම අහසට යවන්න මම ආස කළා. අහස දිහා බලාගෙන ආසාවෙන් දුම්රොටු ඇරියට ඒ දුමින් මගේ ඇස් නොපෙනි ගියා විතරයි මිස්.

ඒ දවස්වලදි දැනුණ හැඟීම මෙහෙමයි කියලා පහදන්න මට පුළුවන් කමක් නෑ. ඒත් ඒක අමුතුම හැඟීමක්. මම ගංජා ගැහුවෙත් ජීවිතේ පාළුව මග ඇරවපු ගාලූ කොටුවෙ දී.

ඉස්කෝලෙ ගිහින් ඇවිත් ගංජා සුරුට්ටුව ගහලා ඈතින් පේන මුහුද දිහා බලං ඉන්න මම ආස කළා. කළුවර මොනතරම් වුණත් මට හැමදේම පැහැදිලිව පෙනුණා.

ඒත් ඒ පැහැදිලිව මම දැක්කේ අපැහැදිලි බව කියලා මට තේරුණේ නෑ.

කව්රු හොයන්නද? මං ගැන. මම ඉගෙන ගත්තේ ගාල්ලෙ සුපිරිම පාසලක තාත්තා ඒ පරිසරය මට හදලා දුන්නා. මම සාමාන්‍ය පෙළ කළේ ගාල්ලෙ. හැමදේම තිබුණත් මොකක්දෝ මහා ලොකු අඩුවක් මට නිතරම දැනුණා. අපේ තාත්තාගේ රස්සාවේ ඇතිවුණ ප‍්‍රශ්නයක් එක්ක අපිට ගාල්ලෙන් බදුල්ලට යන්න වුණා.

බදුල්ලේ උසස් පාසලක මගේ අලූත් ජීවිතේ පටන් ගැනුණා. හැම පහසුකමක්ම බදුල්ලේ සැකසෙනකොට තාත්තා ආයෙමත් ගාල්ලේ පදිංචියට ගියා. ඒත් ඒලෙවල් වලට සූදානම් වෙමින් සිටිය මාව ආයෙ ගාලූ ගෙනාවේ නෑ. බදුල්ලේ නැන්දගේ ගෙදර මාව නැවැත්තුවා.

පාළුවෙන් තනිකමෙන් ගෙවුණා ජීවිතේ. තිබුණටත් වඩා තනි වුණා.

වෙන දීගෙක ගිය අම්මා ඒ වෙනකොට මැදපෙරදිග රස්සාවකට ගිහින් තිබුණා.

අම්මා සැරෙන් සැරේ ලංකාවට ආවම අපිව බලන්නත් ආවා. ඒත් ඒ ආව කිසිම වෙලාවක මගේ ඔළුව අතගාලා කෑවද පුතේ කියලා අහන්න අපේ අම්මට ඉස්පාසුවක් තිබුණෙ නෑ.

ජපන් බෝනික්කා වගේ හැඩට වැඩට අපේ ගෙදර එන අම්මා කතා කළෙත් අමුතු තාලෙට. කියන්න මිස් මාව තේරුම් ගන්න පුළුවන්ද කාටවත්. මට වැරදුණේ කොතනින්ද කියලා කියන්න පුලූවන්ද කාටවත්.

සදීපගේ දෑසට කඳුළක් උණා ඇත. මේ එන්නේ සැකයට නතු වූ කුඩුකාරයා යන අනවර්ථ නාමය ලැබූ තාරුණ්‍යයයි.

මේ කිසියම් වූ පිහිටක් ඔබෙන් යදින ජීවිතයයි. බලන්න ඔබේ පුතාගේ වගේ නොවේ ද මේ ජීවිතය.

මට පුළුවන් හැමදාම බදුල්ලෙන් කොළඹට ඇවිත් කොළඹින් ගාලූ ගියා.

මම හුඟ වෙලාවට බදුල්ලෙන් එන්නේ නයිට්මේල් එකේ. මට බදුල්ලේ පාසලෙන් කුඩු ගහන යාලූවෝ මුණ ගැහුණා. ඒත් මම කුඩු ගැහුවේ නෑ. නමුත් දවසක් නයිට් මේල් එකේ දොරළඟ වාඩිවෙලා එනකොට යාළුවෙක් සෙට් වුණා.

මම මුල්ම කුඩු උගුර ඇද්දේ නයිට් මේල් එකේ දොර ළඟ වාඩි වෙලා ඉඳගෙන.

අමුතුවෙන් මුකුත් දැනුණේ නෑ. ඒත් හිතට මහ අමුතු ආශාවක් දැනුණා. යාළුවන් පට්ට ෆිට් වුණා. එදා කොළඹින් බැහැලා ගාලූ බස් එකේ නගිනවා වෙනුවට මම කොම්පඤ්ඤවීදියට ත‍්‍රීවිල් එකෙන් ආවා. ඒ ඇවිත් යාළුවා එක්ක කුඩු විකුණන තැනකට ගියා. එදා මට බොන්න විතරක් නෙවේ. ගෙදර ගෙනියන්නත් කුඩු ලැබුණා.

මම ගෙදර ආවේ රස කෑමක් ලැබුණ ගාණට. හිතේ තිබුණ පාළුව හත් ගව්වක් දුරට ගියා. මම මත්වුණ සිතත් එක්ක ඔහේ පාවෙලා යනවා දැනුණා.
ඒ දවස්වල ගාල්ලේ කුඩු පැකට් එකක් රුපියල් පනහයි. බදුල්ලේ රුපියල් පන්සියයි. මම ඉස්කෝලේ යන අතරේ ජොබ් එකට අත ගැහුවා. මුලදී සුළුවට පටන් ගත්තා. නමුත් කාලයක් යනකොට මහා පරිමාණයෙන් ගාල්ලෙන් පනහා ගානේ ගෙනිහිං කුඩු පැකට් බදුල්ලේ පන්සිය ගානේ විකිණුවා.
මට හොඳ ආදායමක් ලැබුණා. මම වැඩි වැඩියෙන් කුඩු ගැහුවා. කාලයක් යනකොට ඒ ලෙවල් මගේ හීනයක් වෙලා නැති වුණා. මම කුඩුවලට ඇබ්බැහිවෙලා කියලා දැන ගන්න කොට තාත්තා පරක්කු වැඩි. නමුත් තාත්තා මාව බේරගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගත්තා.

නිදහස පිරුණ පාළුව ඉහ වහා ගිය නැන්දගේ ගෙදරින් තාත්තා ආයෙත් මාව ගාල්ලට ගෙනිච්චා. එතනින් පස්සේ කව්ද කුඩු ගහන මාව ඉස්කෝලෙකට ගන්නේ. මගේ ඉගෙනීම එහෙම්ම නතර වුණා. මාව මුලින්ම පොලිසියට අල්ලල දුන්නේ තාත්තා. ඇත්තටම මිස් ඒකමයි මගේ තාත්තා කරගත්තු ලොකුම අපරාධය.

එදා පොලිසියෙන් මාව කුදලගෙන යනකොට මට දැනුණේ ලොකු තරහක්. ජීවිතේ ආපස්සට හරවන්නවත්, කුඩු වලින් මිදෙන්නවත්  ඕනෙම නෑ කියලා මට හිතුනා. එදා මම ජීවිතේ ඔහේ ගෙවෙන්න තවත් ඉඩ ඇරියා.

හිරගෙදර මට තවත් අපරාධකාරයෝ ගොඩක් මැද තවත් මත්ද්‍රව්‍ය හොයා ගන්න හොඳ අවස්ථාවක් වුණා.

මම ඇතුළේ කුඩු ස්පොට්වලින් කුඩු ගත්තා. කුඩු ගැහුවා.

මුල්ම සැරේ ඇතුළට ගිහින් මාස හයෙන් එළියට ආවා.

ඒ වෙනකොට මන් සවුදියට යවන්න තාත්තා තීරණය කළා. මටත්  ඕන වුණේ යන්න කාත් කව්රුත් නැති පළාතකට ගිහින් ජීවිතේ අලූතෙන් පටන් ගන්න. ඒ නිසාම මම තීන්ත ගාන ජොබ් එහෙකට සව්දි ගියා. කිසිම දෙයක් ලෙහෙසි වුණේ නෑ.

කුඩු නවත්තන්න මම අරක්කු බිව්වා. නමුත් කුඩු සික් එක හැදුණම කොහොමද කුඩු නවත්තන්නේ සව්දියෙ දී. මට මම වගේම කුඩු යාළුවෙක් හමු වුණා. සව්දියෙ කුඩු කොතනද තියෙන්නේ කියල එයා දැනගෙන හිටියා.

ඒ කාන්තාරේ කොහෙන්ද කුඩු හොයා ගන්නේ කියන ප‍්‍රශ්නෙට ඒ යාළුවා මම හොඳ උත්තරයක් වුණා.

මම පුළුවන් හැම වෙලාවෙම කුඩු හොයාගෙන ගියා. මට සල්ලිවලින් අඩුවක් තිබුණේ නෑ.   සමහර දවසට මම කුඩු පාලනය කරන්න අරක්කු බිව්වා. මගේ කුඩු ගැහිල්ල මං වැඩකළ ආයතනයේ බොස්වත් දැනගෙන හිටියේ නෑ.

දවසක් අරක්කු ගැහිල්ල පොලීසියට අහුවුණා. මැදපෙරදිග නීති තදම රට තමයි සව්දි කියන්නේ. ඇත්තටම මට දෙවියො සිිහිවුණා.

සව්දිය වගේ රටක මගේ කියලා කව්රුත් නැති රටක මම බන්ධනාගාරේට දැම්මා.

ඒත් මගේ බොස් එයා අරාබිකාරයෙක්. එයා මං වෙනුවෙන් පෙනී හිටියා. ඇත්තටම ඒ මනුස්සයා මට තාත්තා කෙනෙක් වගේ වුණා. මගේ බොස් මාව එළියට ගන්න උත්සාහයේදී අධිකරණයෙන් මට අච්චුවක් නියම කළා.

කසපාරවල් දහයක් ගහලා නිදහස් කරන්න නියම කෙරුණා. මම හිටියේ කුඩු සික් එකේ. ඒ විතරක් නොවේ, ඩෙනිම් කලිසම් දෙකක් ඇඳලා. කසපාර දහයම වැදුනේ පස්ස පැත්තට. දැනුණේ වත් නෑ. ඒ තරමටම කුඩු සික් එක. කොහොම හරි එදා මම නිදහස් වුණා. වැඩි කාලයක් ජේල් එකේ නොයිඳම නිදහස් වුණා.

ඉන් පස්සේ මාස හයක් විතරම මම සව්දියේ හිටියා. ලංකාවට ආවෙත් ආයේ යන්න බලාගෙන. නමුත් යන්න බෑ කියලා හිතුණා. මම ආයෙත් ලංකාවේ නතර වුණා. ඒත් අතේ සල්ලි නැතිවෙනකොට කෙහෙන්ද මට කරන්න රස්සාවක්.

මම සුපිරි වෙළඳසල්වලින් බඩු හොරකම් කළා. කැමරා නම් දාලා තිබුණා. නමුත් ඒ කැමරාවලින් මුවා වෙලා බඩු උස්සන්න මට හොඳ දක්ෂතාවයක් තිබුණා.
දවසින් දවස මගේ කුඩු ගැහීම වැඩිවුණා විතරයි අඩු වුණේ නෑ. කුඩු ගැහිල්ල වැඩිවෙනකොට ඉස්සෙල්ලා අවස්ථාවල දී වගේම තාත්තා ආයෙත් මාව බන්ධනාගාරෙට දැම්මා පොලිසියට කියලා.

ඒත් දවසක් මාව හදිසියෙම නිදහස් කෙරුණා. නිදහස් කරගෙන තිබුණේ අම්මා. පිටරට ඉඳලා ලංකාවට ඇවිත් මාව නිදහස් කරලා. මිතුරු මිතුරෝ ආයතනයේ වටරැක ශාඛාවට මාව දැම්මා. ඒ වෙලාවේ මම කුඩු සම්පූර්ණයෙන් නැවැත්තුවා. මම හොඳ වත් පිළිවෙත් පුරුදු වුණා. අලූතෙන් හිතන්න පටන් ගත්තා.

මම හොඳ විදිහට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ මගේ තාත්තා හාට් ඇටෑක් එහෙකින් මැරුනා කියලා දැනගන්නට ලැබුණා.

තාත්තා හදිසියේ මැරුණා වුණත් හොඳ ජීවිතයකට පුරුදු වුණ මං ගැන සතුටින් සැනසෙමින් හිටියා කියලා අක්කයි අයියයි මට කිව්වා.

ඇත්තටම ඒක මටත් සැනසීමක්. එහෙම නොවුණා නම් අනේ මගේ තාත්තා මැරුණේ මම මේ ජරා ජීවිතේට හුරු වුණ නිසානේ කියලා හිතාගෙන මට වධ විඳින්න වෙන්න තිබුණා.

කොහොමින් කොහොම හරි අම්මත් නැති මට තාත්තාගේ හදිසි මිය යෑම දරාගන්න පහසු වුණේ නෑ. වෙන් වෙලාගිය අම්මා තාත්තාගේ මළගෙදරට ආවා. ඒත් අපි වෙනුවෙන් නවතින්න එයාට බැරි වුණා. ඒ අවස්ථාවේ අම්මා අපි එක්ක නැවතුනා නම් කොයිතරම් හොඳයි ද.

ඒ කාලෙදී මත් උවදුරෙන් සම්පූර්ණයෙන් මිදිලා මම ගෙදර ගියා. ඒ ගියාම මම ජීවිතේ අලූතෙන් පටන් ගන්න හිතුවා. අපේ හාමුදුරුවන්ගෙන් මට නිතරම ගුරුහරුකම් ලැබුණා. අපි ආයතනයෙන් පිටවෙලා ගියත් හාමුදුරුවෝ අපි ගැන සොයා බැලූවා. මම එක්ක කතා කළා. මාව සමාජයෙන් කොන් වෙන්න තනිවෙන්න දුන්නේ නෑ. මම හොඳින් ජීවත් වුණා.

දවසක් මට ගෑනු ළමයෙක් මුණ ගැහුණා. එයා බොහොම ලස්සන කෙනෙක්. ගුණ යහපත් කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ එක එක සම්බන්ධකම් තිබුණා. ඒත් එයා තරම් මගේ හිතට ආව ගෑනු ළමයෙක් හිටියේ නෑ. එයාගේ නම නිර්මලා. ඇත්තටම මම පිස්සෙක් වගේ නිර්මලාට ආදරය කළා. එයාගෙන් තොර ජීවිතයක් මට තිබුණේ නෑ.

එයා පෙනුමෙන් පුංචි කෙල්ලෙක් වගේ. නමුත් මම රැුවටුණා එයාට එන කෝල්වලින් මට තේරුණා එයා කසාද බැඳලා බව. මම මටත් වඩා එයාට ආදරේ කළා. එයා කසාද බැඳලා උණත් එයාව බාරගන්න මම කැමති වුණා. ඒත් මට ඒකත් කරන්න බැරි වුණා. ඒ තමයි. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා දැන ගත්තහම මම කොහොමද එයාව කසාද බඳින්නේ. දරුවෙක් විදිහට මගේ අම්මා මාව දාලා ගියාම එදා මම හිටපු තත්ත්වයට අද නිර්මලාගේ දරුවෝ පත් වෙනවා බලන්න මට බැරිවුණා. ඇත්තටම අම්මා කෙනෙක් නැති ගෙදර ජීවත් වීම මොනතරම් දුෂ්කර ක‍්‍රියාවක්ද කියලා මම තරම් දන්න කෙනෙක් තව ඉන්නවද? දන්නේ නෑ. ඒ නිසාම එයාගේ දරුවන්ට එයාව දිලා මම අයින් වුණා.

ඒත් ජීවිතේ පළමුවෙනි වතාවට ආදරේ කරපු ගෑනිව අමතක කරන්න මට පුළුවන්ද? එහෙම දෙයක් හිතන්නවත් මට පුළුවන්ද? කොහෙන්ද මට හයියක්. ජීවිතේ ආයෙමත් අවුල් ජාලයක් වුණා. ඒ වේලාවේ මගේ මානසික මට්ටම හොඳින් පවත්වාගෙන යන්න හාමුදුරුවෝ උපදෙස් දුන්නා. ඒත් මට ඒ හැම දේම වධයක් වගේ දැනුණා. මගේ කතාව ආදරේ කරපු කෙනෙක් ඉන්නව නං තේරුම් ගනී මගේ තත්ත්වෙ. අන්තිමේදී මම මගේ දුක අමතක කරන්න කුඩු ගැහුවා. ඇත්තටම මම මහා මෝඩයෙක්, පිස්සෙක්. රෑ වැටුණු වළේ දවාලෙත් වැටුණා. දැන් මාව මෙහෙට ඇවිත් මාස හයක් වෙනවා. අම්මා තමයි මේ වතාවෙත් මාව ගෙනත් දැම්මේ. ආයෙත් මම කොහේවත් යන්නේ නෑ. ආයෙත් මම කුඩු ගහන්නේ නෑ.

ජීවිතේ හදාගන්න මට පුළුවන් වේවි.

කුඩු කියන වසංගතයෙන් බේරෙන්න නම් වචන විතරක් තිබිල බෑ. හිතට දහිරියත් අධිෂ්ඨාන

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »